
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මිය යන විට තෙවරප්පෙරුම මහතා 64 වියේ පසුවිය.
ඔහු දෙදරු පියෙකි. මීට වසර කිහිපයකට ඉහතදී ඔහුගේ වැඩිමහල් පුතු මියගියේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටියදී මෙම අනතුර වී ඇති බවත් එම අවස්ථාවේදී දී තවත් සිවුදෙනකු ලොරි රථයකින් පොහොර තොගයක් බාමින් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු ලොරියට මඳක් ඈතින් අමාත්‍යවරයා වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
සිරුර මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද17) පැවැත්වීමට නියමිතය.
තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයේ හේතුව සොයා ගැනීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු පැමිණ ඊයේ 16) රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළහ.
පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ සිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දේහය තැන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල්ද ගෙවා ඇති බව ඔහු විසින් එම දිනවල ප්‍රකාශ කර තිබිණි.
දේහය එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනා කිරීම සඳහා ඔහු විසින් සිංදුවක්ද තනා තිබූ බවත් අනාවරණය විය .
තමන්ගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත සිදුකරන ලෙසත් ඔහු එමගින් දැනුම් දී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් මියගියාද? අකුණු සැර වැදීමකින් මිය ගියාදැයි ? පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකය.
------------------------------------
(සුමිත් පොතුපිටිය)
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.
නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි රාජ්‍ය අමාත්‍යවරයෙකි.




